Friday, May 23, 2014

කොම්පීතර දැනීම

කූඹිච්චි හා පුරා කියලා කොම්පීතරයක් ඇල්ලුවේ උසස් පෙළ කොරන කාලෙදී. ඉස්කෝලේ කිරි කිරි ලැබ් එකක් හදලා ඒ මදිවට AC ත් කොරලා. අපි ඉතින් ඒ කාලේ ඕක ඇතුලට යන්නේ පන්සලකට යන්න වගේ සපත්තුත් ගලවලා. මට තාම මතකයි paint වල හරියට රවුමක් ඇඳගන්න බැරුව විඳපු දුක. රවුම ඇඳලා ඉවර කොරන්න කලියෙන් මවුස් එක මවුස් පෑඩ් එකේ කෙලවරට ගිහින්. ඉතින් කොහොමෙයි ඇඳලා ඉවර කොරන්නේ.

ඔන්න ඔහොම කාලයක් ගත වෙලා යද්දී ගෙදරින් කූඹිච්චිගේ මල්ලිට කොම්පීතරයක් අරන් දෙන්නයි හදන්නේ. ඔන්න ඉතින් කූඹිච්චිට මතක්  උනා  බොලේ අපිත් කොම්පීතර ඉගෙන ගත්ත නේද කියල. කාමරේට ගිහින් පොත් ගොඩ පෙරලලා ඒ කාලේ චාල්ස් බැබේජ් ගැන ලියාපු පොතත් හොයන් පොඩ්ඩක් එහෙට මෙහෙට පෙරලලා ඔලුව පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරන් ගියා අම්මා ලඟට. මල්ලි මොනවද මන්දා අහලවත් නැති ඒවා ගැන කියනවා අම්මට. ඔන්න ඉතින් මගේ දැනීම පෙන්නන්න වෙලාව.

අම්මේ RAM, ROM කියලා ජාති දෙකක් තියනවා. RAM එක වැඩ කරන්නෙ කරන්ට් එක තියන වෙලාවට විතරයි. ROM එහෙම නෑ, කරන්ට් එක නැතුවත් වැඩ කරනවා. ඒක හින්දා අපි ගන්න ඕන ROM එකක් !!!