Thursday, September 12, 2013

ආදරණිය ආත්තම්මේ

ඔබ යලිත් නොඑන්නම ගිහින් අවුරුදු තුනකුත් ගෙවිලා ගිහින්...

















ආත්තම්මගෙ මේ පින්තූරේ ගත්තේ කතරගම කිරි වෙහෙර ලඟදි.

එදා උදෙන්ම අපේ ගෙදර හැමෝම මාතර බෝධියත් වැඳගෙන පිටත් වුනේ කතරගම යන්න. කතරගමට යද්දී ගිනි දවල්. එළියේ ඇවිදින්න බැරි තරමට පිච්චෙනවා. එදා කතරගම කිරි වෙහෙර ලඟදි ගනිපු ආත්තම්මගෙ මේ පින්තුරේ දකිද්දි දැනෙන්නෙ ආත්තම්ම තාමත් අපේ ලඟින්ම ඉන්නවා වගේ. බුදුන් වැඳලා ඉවර වෙලා අපිට එළියටවත් බහින්න හිතෙන්නෙ නැති අර ගිනි ගහන අවුවෙම ආත්තම්මා චෛත්‍ය පාමුලට ගිහින් නළල බිම තියල වැන්දා.

අපි තිස්සමහාරාමෙට යද්දී නම් හරිම සනීප හුළඟක් තිබුනෙ හවස් වෙලා නිසා. ආත්තම්මා තිස්සමහාරාමේ චෛත්‍ය වටේටම ඇවිද්දා. බුදුන් වැඳලා ඉවර වෙලා එද්දී පොඩි ළමයි කට්ටියක් ඝාන්ඨාරෙ ගහනවා. ආත්තම්මත් එතනට ගිහින් ගාථාවක් කිය කියා ඝාන්ඨාරෙ ගහලා එන ගමන් මගෙන් ඇහුවා 'දූ දන්නවයි ඝාන්ඨාර පූජ කරන ගාථාව ? ' කියලා. මම 'නෑ' කියලා කිව්වම ආත්තම්මා මට ඇහෙන්න ආයෙත් ඒ  ගාථාව කිව්වා. එදා රෑ ගෙදර එද්දි ආත්තම්ම මගේ උකුල උඩ නිදාගෙන ආවෙ. ආත්තම්මට සීතලයි කිව්වම මම ආත්තම්මගේ සාරි පොටෙන්ම පෙරෙව්වා.

ඊළඟ දවසේ උදෙන්ම මම කොළඹ ආවෙ කාලෙකට පස්සෙ කැම්පස් එකේ යාලුවෝ කට්ටිය හමු වෙන්න කතා කරගෙන හිටිය නිසා.  මම එන්න ලේස්ති වෙලා ආත්තම්මට වඳින්න යද්දි ආත්තම්මා මුණ හෝදනවා. වෙනදා වගේම ආත්තම්මට වැඳලා නළලත් ඉඹලා එද්දි ආත්තම්මත් මගේ අතින් අල්ලගෙන ගෙදර ඉස්සරහට ආවා. ආත්තම්මා එදා උදේ මිදුලත් අතු ගාලා තිබුනා. ඒත් එදා හවසම ආත්තම්මා වැටිලා තිබුනා, ආයෙත් නොනැගිටින්නම...

ආත්තම්මව බලපු ගෙදර ළඟ දොස්තර අයියා කිව්වෙ ඔළුවෙ  ලේ කැටියක් හිර වෙලා කියලා. එදා ඉඳන් දවස් අටක්ම මගේ ආත්තම්මා ඇස් අරින්නේ නැතුව, කතා කරන්නේ නැතුව, නැගිටින්නේ නැතුව ඇඳටම වෙලා හිටියා. ආත්තම්මගේ දකුණු අතයි, කකුලයි පණ නැති වෙලයි තිබුනේ. ඒ දවස් ටිකේ ගෙදර හැමෝම ගොඩක් ආදරෙන් ආත්තම්මව බලා ගත්තෙ පුංචි දරුවෙක්ව බලා ගන්නව වගේ. හෙමින් සැරේ අත් කකුල් හොලවද්දී අපි හිතුව ආත්තම්ම ආයෙත් සනීප වෙලා ඉස්සර වගේම අපේ ලඟින් ඉඳීවි කියලා. අම්මා ආත්තම්මගෙ කොණ්ඩෙ කපන්න හැදුවම මම කපන්න දුන්නෙ නැත්තෙ සනීප වුනාට පස්සේ ආත්තම්මා කොණ්ඩෙ නැතුව ගෙදරින් එළියටවත් බහින එකක් නෑ කියල හිතලයි.

ආත්තම්මා අසනීපෙන් කියල දැන ගනිපු පන්සලේ හාමුදුරුවෝ අපේ ගෙදරට වැඩම කරලා පිරිත් කිව්වා. ආත්තම්මට කතා කරන්න බැරි උනාට කියන දේවල් ඇහෙනවා ඇති කියලා හිතලා හැමදාම වගේ රෑට රේඩියෝවේ බණ, පිරිත් දාල දුන්නා. මට පුළුවන් වෙලාවට ආත්තම්මා ළඟ ඉඳන් ආත්තම්ම හැමදාම වගේ කියවන 'වන්දනා ගාථා' පොත ආත්තම්මට ඇහෙන්න කියෙව්වා.

ආත්තම්මා වෙනදට  'වන්දනා ගාථා' පොත ඉවර වෙනකල්ම කියවන්නෙ ඒකේ දරුවන්ටත් සෙත් පතලා තියනවා කියලා. ඒකේ අන්තිමට තියනවා 'හදා ගත් ගේ පැලට දරු මුණුපුරන් හට දම් රුවනේ සරණයි' කියලා පේළියක්...

ඒ දවස් ටිකේම අම්මයි, අක්කයි, මමයි මාරුවෙන් මාරුවට නිවාඩු දදා ආත්තම්මා ළඟ හිටියා. අන්තිම දවසේ නිවාඩු දැම්මෙ මම. එදා මම උදේම ආත්තම්මගෙ කිරි එක පෙව්වා. ඊට පස්සේ රෙදි කෑල්ලක් තෙමලා ආත්තම්මගෙ ඇඟ පිහ දැම්මා. ඇඳුම් මාරු කරලා බෙඩ් ෂීට්, කොට්ට උර මාරු කළා. ඒවා සෝදන අතරෙ මල්ලිට කියලා දෙළුම් එකක් හදල පෙවෙව්වා. මගේ වැඩ ඉවර කරලා ඇවිත් ඉතිරි දෙළුම් ටිකත් පොවලා, ආත්තම්මට දවල්ට පොවන්න සුප් එකකුත් ලිපේ තියලයි මම උදේට කන්න ගත්තේ. එතකොට වෙලාව උදේ එකොළහට වගේ ඇති. මම උදේට කෑවෙත් ආත්තම්මා ලඟට වෙලා.

ටික වෙලාවක් යද්දී මට හිතුනා ආත්තම්මා හුස්ම ගන්නේ අමාරුවෙන් කියලා. වෙනදට වඩා ලොකු සද්දයක් ආව හුස්ම ගනිද්දී. ගෙදර ළඟ ඉන්න දොස්තර  අයියා ඇවිත් බලලා කිව්වා මෙහෙම වෙන්නේ නැති වෙන්න ලං උනාම කියලා. ආත්තම්මාගේ ඇස් වල කළු ඉංගිරියාව ගොඩක් ලොකු වෙලා තිබුනා. ඒ වෙද්දී සැරින් සැරේට ආත්තම්මාගේ කටට  කළු පාටින්  ලේ පිරෙන්න අරන් තිබුනේ. මම පුංචි රෙදි කෑලි වලින් ඒවා අයින් කර කර ලඟටම වෙලා හිටියා.

ඊට පස්සේ ආත්තම්මව සීතල වෙන්න ගත්තා. කාමරේ ජනෙල් වහලා මල්ලියි මමයි දෙන්නා ආත්තම්මගේ අත් කකුල් අතගෑවා උණුසුම් වෙන්න. ටික වෙලාවකින් අම්මයි තාත්තයිත් ගෙදර ආවා. ආත්තම්මාගේ ඇහැකින් කඳුළු බින්දුවකුත් බේරුනා. එක සැරේටම ආත්තම්මා ලොකු හුස්මක් පහළ දාලා එහෙමම හිටියා. මට දැනුනේ මගේ හුස්ම නැවතුනා වගේ. මම 'ආත්තේ' කියලා ආත්තම්මගේ පපුව හයියෙන් අතගෑවා. ආත්තම්මා තව එකම එක සැරයක් විතරයි  හුස්ම ගත්තේ...

අපේ ගෙදරින් මම ගොඩක්ම ලඟින් හිටියේ ආත්තම්මට. වෙන එකක් තියා මම නිදා ගත්තෙත් ආත්තම්මා ළඟ. අපේ ආත්තම්මා හරිම පුදුම චරිතයක්. ආත්තම්මට දරුවෙකුට හිටියේ මගේ තාත්ත විතරක් උනාට ආත්තම්මා හැමෝටම සැලකුවේ තමන්ගේම දරුවන්ට වගේ. එක නිසා වෙන්න ඇති අනිත් හැමෝමත් ආත්තම්මට ගොඩක්ම ආදරේ කලේ.

අවුරුදු අනු හයකට කිට්ටු වෙලත් ආත්තම්මා හොඳ සනීපෙන් හිටියේ. ආත්තම්මගෙ ඇඳුම් පවා සෝද ගත්තෙ ආත්තම්මමයි. හිටපු ගමන් අපිව දාලා ගියාම ආත්තම්මා  නැතුව ජිවත් වෙන්නේ කොහොමද කියල මට හිතා ගන්න බැරි උනා. ආත්තම්මව ගෙදරින් අරන් යද්දී මම කිව්වා 'ගිහින් එන්න ආත්තේ' කියලා. ඒ කවදාක හරි අපි කාගේ හරි දරුවෙක් වෙලා හරි අපේ ආත්තම්මා අපි ලඟට එයි කියන බලාපොරොත්තුවෙන්...

තිස්සමහාරාමේ චෛත්‍ය වටේටම අපිත් එක්ක හොඳට ඇවිදලා ඊලග දවසේ නැගිටගන්නවත් බැරුව ඇඳටම වැටුණු මගේ ආත්තම්මා අපිට ඒ කියලා දුන්නේ ජිවිතේ අනිත්‍ය බවම නෙවෙයිද ...?