Friday, April 24, 2015

හිච්චි එකී කාලේ - පාර්ට් ටූ

හිච්චි එකී කාලේ පළවෙනි පෝස්ට් එකෙන් කිව්වේ ඉස්කෝලෙදි වෙච්චි දේවල්නේ. ඔන්න ඉතින් ගෙදර ගැනත් පොඩ්ඩක් කියන්නයි මේ ලෑස්තිය.

කූඹිච්චිගේ ගෙදර තිබුනේ පොඩි කන්දක් උඩ. ගෙදරට යන්න තාර පාරෙන් හැරිලා පොඩි වේල්ලක් දිගේ යන්ටත්  ඕන. වේල්ල දෙපැත්තේ පොඩි වෙල් දෙකක් තියෙන්නේ. ඊට පස්සේ එක පැත්තක තේ වගාවකුයි, අනිත් පැත්තේ කුරුඳු වගාවකුයි තව කොහිල කොරටුවකුයි පහු කොරන් යන්ට ඕන. ඕවා අපේ නම් නෙවෙයි. ඊටත් පස්සේ තමයි කන්ද නගින්න තියෙන්නේ.  තාර පාරෙන් අනිත් පැත්තේ ලොකුම ලොකු පිට්ටනියක්. පිට්ටනියේ අනිත් කෙලවරින් සාගර හිමිය සොයා රූබර නදිය ගලා බසී.

ඒ කාලේ පොඩ්ඩ බැරි වෙන්න බෑ ගඟ එනවා අපේ ගෙවල් හොයාගෙන. ඒත් ඉතින් කොහේ එන්නද කන්ද නැගලා, කන්ද පාමුලට වෙලා බලන් ඉඳලා ආයෙත් යන්න යනවා. ඉස්කෝලේ යන පොඩි උන් විදියට අපි නම් ආසම නෑ මේ වැඩේට, මොකද අපිට ඉස්කෝලේ යන්න බැරි වෙනවනේ. ඒ කාලේ ඉස්කෝලෙන් පොතක් දීලා තිබුනා ඉස්කෝලේ ගියේ නැතොත් එන්න බැරි  වුනු හේතුව ලියලා අම්ම හරි තාත්ත හරි අත්සන් කොරන්ට ඕන. කූඹිච්චිගේ ඔය පොතේ වැඩිපුරම තියෙන හේතුව ජල ගැල්ම නිසා කියලයි. අප්පා ඒ දවස් වල උදේ පාන්දර නැගිටිද්දී ගෙම්බන්ගේ ප්‍රීති ඝෝෂාව ඇහෙද්දී දැනෙන සනීපෙ... වෙනදට තාත්තා ඇවිත් ඇහැරවනකල් නිදා ගන්න අය  හරිම උනන්දුවෙන් උදේ නැගිටිනවා ඉස්කෝලේ යන්න කියලා. ඒත් ඉතින් ඇහැරුනු ගමන් තාත්තා කියනවා ගං වතුර ගලලා, අද ගෙදරට වෙලා ඉන්න කියලා.  :rolleyes: 
 
floodcartoonlow1_zpseef9b5d7.jpg
ඉතින් ගං වතුර ගලාගෙන එන එක නම් බලන්න ලස්සනයි. ඉස්සෙල්ලම අපේ වේල්ලේ එක පැත්තක තියෙන වෙලක් පිරෙනවා. ඊට පස්සේ වේල්ල උඩින් තමයි අනිත් වෙලට වතුර දාන්නේ. හරියට දිය ඇල්ලකින් වතුර වැටෙනවා වගේ. ඒ වෙලාවට වේල්ල උඩ ඉඳලම තමයි බලන්න ඕන එකේ ලස්සන තේරෙන්න. ඔහොම පිරෙන වතුර ගොඩක් වෙලාවට තාර පාරේ ඉනක් හරියට නම් එනවාමයි. ටිකක් ලොකු ගං වතුරකදී නම් කර වටක් වත් පිරෙනවා. ඉතින් වතුර ගලාගෙන එද්දී අපි කරන්නේ වතුර තියෙන තැන කෝටුවක් හිටවනවා, ඊට පස්සේ සැරින් සැරේට ඇවිත් බලනවා වතුර අඩු වෙනවද වැඩි වෙනවද කියලා. ඉතින් කෝටුව කිසිම නිදහසක් නැතුව පැය භාගෙන් භාගෙට එක එක තැන වල හිටගෙන බලන් ඉන්නවා.

ඔන්න එක අවුරුද්දකදී නම් මහා ගං වතුරක් ආවා. මතකේ හැටියට දවස් පහක් විතර යනකල් වතුර බැස්සේ නෑ. ඒ සැරේ නම් ඡන්දෙ ඉල්ලන මාම කෙනෙක් බෝට්ටුවකින් අපිට පාන් ගෙනත් දුන්නා. තාත්තලත් ගෙදරට කොටු වෙච්චි නිසා අපේ තාත්තයි ඉස්සරහා ගෙදර මාමයි දෙන්න එකතු වෙලා අපට කෙහෙල් කොට වලින් පහුරකුත් හදලා දුන්නා . ඔන්න ඉතින් කූඹිච්චි අක්කයි, මල්ලියි, ඉස්සරහ ගෙදර නංගියි එක්ක පහුරු පදිනවා. වතුර මැදදී මෙන්න බොලේ පහුරට ගොඩ වුනා දෙපත්  නයෙක්. අක්කණ්ඩි බෙරිහන් දුන්නේ නැතෑ නයෙක් ගොඩ වුනු තරමට...තව ඩිංගෙන් තාත්තට තමයි අම්මගෙන් බැනුම් අහන්න වෙන්නේ පහුරු හදා දුන්න පිනට.

ඔන්න ඉතින් වතුර ටිකක් අඩු වෙද්දී අපි ඉස්කෝලේ ගියේ නැති උනාට තාත්තලා වැඩට යන්න ගන්නවා. එක දවසක තාත්තා වැඩ ඇරිලා ගෙදර එද්දී කූඹිච්චි තව යාලුවොත් එක්ක ගං වතුරේ සෙල්ලම් කරනවා. තාත්තා එනවා දැක්කම ගෙදර දුවන්නේ නැතුව කූඹිච්චියා  වීරයා වගේ ගියේ නැතෑ තාත්තගේ ඉස්සරහට. වේල්ල දෙපැත්තේ ගස් මොනවත් නැති නිසා වේල්ල කොහෙද, වෙල කොහෙද කියලා පේන්නෙත් නෑ. තාත්තා මොනවත් නොකිය එහෙමම කූඹිච්චිව ගෙදර එක්කන් ගියා. එක්කගෙන ගිහින් ගෙදර තිබුණු කරාබු නැටි ගහක බැඳලා ගැහුවනෙ ඒ පුංචි එකීට ආයෙත් එහෙම නොකරන්නම. ඇත්තටම එදා වතුර පාරේ සැරට පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ගහගෙන ගියා නම් පිට්ටනියත් පහු කරන් ගඟ දිගේ ගිහින් කූඹිච්චිටත් ගඟ එක්කම සාගර හිමියත් සොයාගෙනම යන්න තිබුනා. තාත්තගේ අමතක නොවෙන බෙහෙත නිසා ආයෙත්  නම් ඒ වගේ වීර ක්‍රියා කරන්න ගියේ නෑ ඉතින්.  :ph34r: 

ගං වතුර ටිකක් අඩු වේගෙන යද්දී තාත්තා අපිව පාර දිගේ ඇවිදින්න එක්කන් යනවා. වතුරේ නටන්න ඕන කමට අපි යන ගමන් බොරුවට මොකක් හරි කරන් පාරේ වැටෙනවා. ඉතින් ඔලුවත් එක්කම තෙමාගෙනයි ගෙදර යන්නේ. ගෙදර ගියාම ඉතින් අම්මා පටන් ගන්නවා දේශනාව. දැන් තමයි තේරෙන්නේ මොන ජරාවකද නටලා තියෙන්නේ කියලා. වතුර බැහැගෙන ගිහින් ටික දවසක් ගියාට පස්සේ තමයි පිට්ටනියේ ඇවිදින්න යන්න ඕන. ඒ කාලෙට අපේ සෙල්ලම වලන් පොඩි කරන එක. පිට්ටනියේ ඉතුරු වෙච්චි මඩ තට්ටුව වේලිලා ඉරි තලලා හැදුනු වලන් කෑලි පොඩි කර කර ඇවිදින එක හරිම ජොලි වැඩක්. තාමත් මතක් කරද්දී කකුල් වලට ටක ටක ගාගෙන වලන් පොඩි වෙනවා දැනෙනවා වගේ...

ඒ කාලේ මතක් වෙද්දීත් හරිම සුන්දරයි. පොඩි කාලේ අපි කොච්චර නම් ගඟේ නටන්න ඇතිද... ඒත් දැන් නම් ගඟ දිහා බලන්නත් බයයි, කිඹුල්ලු දැන් ගඟ අයිති කරගෙන. ඒ ගැන හිතෙද්දි නම් දුකයි ටිකක් විතර. ඉහි ඉහි ඉහි  :wacko:  :wacko:  :wacko: 


4 comments:

  1. පෝස්ට් ඔක්කොම කියෙවුවා, හොදයි.රසවත්, දිගටම ලියන්න

    ReplyDelete
  2. මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි චාමර :)

    ReplyDelete
  3. ගමේ ජීවිතේ කොයි තරම් සුන්දරද කියා හිතුණා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත වැසි දැරිවියේ...
      සතුටුයි ඒ වගේ ළමා කාලයක් තිබුණු එක ගැනම

      Delete